අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර තිබුණු ප්‍රියා සූරියසේන මහතාගේ දේහය අද පස්වරු 3.30ට පමණ අවසන් කටයුතු සඳහා බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ආවේය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 24 වනදා අභාවප්‍රාප්ත වුණි.
වර්ෂ 1944 ඔක්තෝබර් මස 27 වැනිදා මඩවල ලියනගේ දොන් සරත්චන්ද්‍ර ප්‍රියදර්ශි සූරියසේන ලියනගේ හෙවත් ප්‍රියා සූරියසේන මහතා උපත ලැබු අතර මිය යන විට ඒ මහතා 80 වන වියෙහි පසු වුණි.
1971 වසරේදි කැලණිය ගුරුකුල විද්‍යාලයේ දී සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීමය ජීවිතය ආරම්භ කළ ප්‍රියා සූරියසේන මහතා අනතුරුව ගුරු වෘත්තීයට සමුදෙමින් වෘත්තීය ගායකයෙකු ලෙස කටයුතු කළේය.
1968 වසරේ දී බයිලා ගායකයෙකු ලෙස සංගීත ක්ෂේත්රය පිවිසි ඒ මහතා අනතුරුව 1972 වසරේ දී සරල ගී ගායනයට පිවිසියේය.
මෙරට සංගීත ක්ෂේත්රයට ගීත රැසක් දායද කර ඇති ඒ මහතාගේ “හෙට දවසේ අප දෙදෙනා”, “අඳුර අඳුර මගේ”, “ඈත රන්විමන් දොරින්”, “ප්‍රනීත මී බිඳු”, “සරතැස නිවා”, “කිරි සයුරේ”, “සඳ තාරාකා හඬාවී”, “සුදු පරවී රෑන සේ” යන ගීත මෙරට ශ්රාවකයින් අතර මහත් ප්‍රසිද්ධියක් උසුලයි.
එමෙන්ම ප්‍රියා සූරියසේන මහතා චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලන අතර අභාවප්රප්ත ප්‍රවීන ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතා සමග ගායනා කරනු ලබන “කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා” ගීතය මෙරට රසික ජනතාවගේ වඩාත් ජනාදරයට පත් වුණි.